ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ (UNODC) වැඩසටහන් කාර්යාලයේ වැඩබලන ප්‍රධානී සහ UNODC ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහනේ නැගෙනහිර ඉන්දීය සාගර කලාපය භාර කලාපීය වැඩසටහන් සම්බන්ධීකාරක Siji Song මහත්මිය නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා හමුවී තිබේ. නිල හමුව සඳහා නාවික හමුදා මූලස්ථානයට පැමිණි ඒ මහත්මිය නාවික හමුදාධිපතිවරයා විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව දෙපාර්ශ්වය අතර වැදගත් සාකච්ඡාවක් පවත්වා ඇත.
මුහුදු මාර්ග භාවිත කරමින් සිදුකෙරෙන නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම පිළිබඳව මෙම හමුවේදී විශේෂ අවධානයක් යොමු වී ඇති අතර, සමුද්‍රීය අපරාධ වැළැක්වීම ඇතුළු දෙපාර්ශ්වයටම වැදගත් වන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගෙන තිබේ. ඉන්දියන් සාගර කලාපය තුළ සමුද්‍රීය අපරාධ සම්බන්ධයෙන් පවතින අභියෝග සහ ඒවාට සාර්ථකව මුහුණදීමේදී අදාළ පාර්ශ්ව අතර අන්‍යෝන්‍ය සහයෝගීතාවයේ වැදගත්කමද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කර ඇත.
දෙපාර්ශ්වයේ නිල හමුව සංකේතවත් කරමින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා සහ Siji Song මහත්මිය අතර සමරු තිළිණ හුවමාරු කිරීමක්ද මෙහිදී සිදු කෙරිණි.
















