මෙරට පැවති යුද සමයේදී සරණාගතයන් ලෙස ඉන්දියාවට ගිය ශ්‍රී ලංකිකයන්ට නැවත මෙරටට පැමිණීමේදී පැවති නීතිමය බාධා ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩල තීරණයක් ගත් බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසාමාණික්කම් මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මීට පෙර නීතිවිරෝධී ලෙස හෝ පිළිගත් ගුවන් තොටුපළකින් නොවන ස්ථානවලින් රටින් බැහැරව ගිය අය නැවත පැමිණීමේදී ආගමන විගමන නීති යටතේ අත්අඩංගුවට පත්වූ නමුත්, නව තීරණය යටතේ එම බාධා ඉවත් කර ඇත. ඒ අනුව, ඉන්දියාවේ චෙන්නායිහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත දැනුම් දී තමන් ශ්‍රී ලංකික පුරවැසියකු බව තහවුරු කිරීමෙන් සහ රාජ්‍ය බුද්ධි සේවය (SIS) හරහා ලබාගන්නා ආරක්ෂක වාර්තාවකින් පසු ඔවුන්ට මෙරටට පැමිණීමට අවශ්‍ය වටපිටාව සකස් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















