කියුබාවේ රජය සතු පතල්, ලෝහ සහ ගොඩනැගිලි ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ ආයතන නවයක් ඉලක්ක කරගනිමින් ඇමෙරිකාව විසින් නව ආර්ථික සම්බාධක මාලාවක් පනවා තිබේ. ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව කියුබානු ගොඩනැගිලි අමාත්‍යාංශය, රජයේ පාලනය යටතේ පවතින ආනයනික සමාගම් සහ කොබෝල්ට් හා නිකල් වැනි ඛනිජ නිස්සාරණය කරන ‘GEOMINSAL’ ආයතනය ද මෙම සම්බාධක ලැයිස්තුවට ඇතුළත් කර ඇත.
මීට අමතරව, ජාත්‍යන්තර සබඳතා වර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන ජාතීන්ගේ මිත්‍රත්වය පිළිබඳ කියුබානු ආයතනයේ (ICAP) නායකයින් තිදෙනෙකුට ද මෙම සම්බාධක පනවා තිබේ. ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ (Marco Rubio) පවසන්නේ මෙම ආයතන සහ පුද්ගලයන් ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අතර, කියුබානු පාලන තන්ත්රයේ මර්දනකාරී ක්‍රියාවන්ට සහාය දක්වන බවයි.
දැනටමත් දැඩි ආර්ථික අර්බුදයකට, විදුලි බල විසන්ධිවීම්වලට සහ ඖෂධ හිඟයකට මුහුණ දී සිටින කියුබාවට ඇමෙරිකාව විසින් පනවා ඇති මෙම නව සම්බාධක හේතුවෙන් එරට ආර්ථික තත්ත්වය තවදුරටත් දැඩි ලෙස පිරිහීමට ලක්වනු ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
තොරතුරු උපුටා ගැනීම: Al jazeera ඇසුරින්
















