අමෙරිකාවේ ජාතික ණය ප්‍රමාණය පසුගිය වසර දහය ඇතුළත දෙගුණයකටත් වඩා ඉහළ ගොස් ඇති බව එරට භාණ්ඩාගාර වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජෝ බයිඩන් යන ජනාධිපතිවරුන්ගේ පාලන කාලයන්හිදී සිදුවූ අධික රාජ්‍ය වියදම් මෙන්ම, එකතු වූ ණය වෙනුවෙන් ගෙවීමට සිදුවූ ඉහළ පොලී පිරිවැය හේතුවෙන් මෙලෙස ජාතික ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 40 සීමාව පසුකර තිබේ.
වසර 2016 දී ඩොලර් ට්‍රිලියන 20 කට වඩා අඩු මට්ටමක පැවැති මෙම ණය ප්‍රමාණය, මෙවැනි වේගයකින් ඉහළ යාම හමුවේ රජයේ නිතර සිදුවන ණය ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව දැඩි සංවාදයක් මතුව ඇත. මීට පෙර පුරෝකථනය කර තිබුණේ මෙම වසර අවසාන වන විට ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 39.6 ක් වනු ඇති බවයි. එහෙත් අපේක්ෂිත කාලයටත් පෙර ණය සීමාව ඉක්මවා යාම විශේෂත්වයකි.
මේ අතර, කොංග්‍රස් අයවැය කාර්යාලය අනාවැකි පළ කරන්නේ වසර 2036 වන විට අමෙරිකාවේ ජාතික ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 64 දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බවයි. පවතින අයවැය හිඟය පියවා ගැනීමට ට්‍රම්ප් පරිපාලනය විවිධ පියවර ගනිමින් සිටියද, ඉදිරියේදී සාමාන්‍ය පාරිභෝගිකයන්ට ඉහළ පොලී අනුපාත සහ උද්ධමනකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවති.
















