චීනය සහ රුසියාව එක්ව ආක්ටික් සාගරය හරහා යුරෝපයට ගමන් කළ හැකි නවතම කෙටි වෙළඳ මාර්ගයක් නිර්මාණය කිරීමට පියවර ගනිමින් සිටින බව වාර්තා වේ. මෙහි මූලික පියවරක් ලෙස චීන බහාලුම් නෞකාවක් පසුගිය අගෝස්තු 15 වනදා චීනයේ නැගෙනහිර වෙරළ තීරයෙන් ගමන් ආරම්භ කර ඇති අතර, එය රුසියාවට අයත් උතුරු මුහුදු මාර්ගය (Northern Sea Route) ඔස්සේ දින 20 ක් වැනි කෙටි කාලයකින් යුරෝපයට ළඟාවීමට නියමිතය.
මෙම ආක්ටික් මුහුදු මාර්ගය චීනයේ ජාත්‍යන්තර වෙළඳාමට ඉතා තීරණාත්මක එකක් වන අතර, එමගින් මලක්කා සමුද්‍ර සන්ධිය, බැබ් අල්-මන්ඩෙබ්, රතු මුහුද සහ සුගෙස් ඇළ වැනි නිතර බාධා සහ තර්ජන එල්ල වන සාම්ප්‍රදායික වෙළඳ මාර්ග මගහැර යාමට චීනයට හැකියාව ලැබෙයි. මෙම වාරයේදී නියමු ව්‍යාපෘතියක් ලෙස ගමන් වාර 8 ක් පමණක් සැලසුම් කර තිබුණද, වසර පුරාම මෙම මාර්ගය ඔස්සේ නෞකා ධාවනය කිරීමට හැකිවන පරිදි යටිතල පහසුකම් දියුණු කිරීමට චීනය සහ රුසියාව මේ වන විටත් ඒකාබද්ධව කටයුතු කරමින් සිටියි.
මීට අමතරව රුසියාව ද මෙම ආක්ටික් මාර්ගය ඔස්සේ ආසියාවට, විශේෂයෙන්ම චීනය වෙත තෙල් ප්‍රවාහනය ආරම්භ කර ඇති අතර මෙවර වාරයේදී පමණක් බොරතෙල් බද්‍ර පීප්ප මිලියන 6 ක් පමණ මෙම මාර්ගයෙන් ප්‍රවාහනය කර ඇත. මෙම සමස්ත ක්‍රියාවලියම ඇලස්කාව සහ රුසියාව අතර පිහිටි බෙරින් සමුද්‍ර සන්ධිය ආසන්නයෙන් සිදු වන බැවින්, චීනය සහ රුසියාව ආක්ටික් කලාපයේ බලය තහවුරු කරගැනීමට දරන මෙම උත්සාහය දෙස ඇමෙරිකාව දැඩි අවධානයකින් පසුවෙයි.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
















