22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) පාර්ලිමේන්තුවට නොපැමිණීමට තීරණය කිරීමත් සමඟ ඊයේ (20) දින පාර්ලිමේන්තු සභා ගර්භය තුළ උණුසුම් වාද විවාද ඇති විය.
මෙම නොපැමිණීම සහ ඒ ආශ්‍රිතව නීතිඥ සංගමයේ සභාපතිවරයා විසින් නිකුත් කරන ලද ලිපියක් මුල් කරගනිමින් විවාදය හටගත් අතර, සභානායකවරයාගේ ප්‍රකාශයක් ‘ආණ්ඩු පක්ෂයේ තර්ජනයක්’ ලෙස එම ලිපියෙහි හැඳින්වීම පාර්ලිමේන්තු සම්ප්‍රදායට කොතරම් දුරට ගැළපෙන්නේද යන්න ආණ්ඩු පක්ෂයේ ඇමතිවරු මෙහිදී ප්‍රශ්න කළහ. තමන් කිසිදු ආකාරයක තර්ජනයක් නොකළ බවත්, පවතින ක්‍රමවේදය පමණක් පෙන්වා දුන් බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී පැහැදිලි කළේය. එසේම, වෘත්තීය සංවිධානයක් විපක්ෂ නායකවරයා හරහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට උත්සාහ කිරීම පිළිබඳවද සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා ඇතුළු පිරිසක් සිය අදහස් ඉදිරිපත් කළහ.
















