ඉස්ලාම් භක්තිකයන්ගේ ශාස්තෘන් වහන්සේ වන මුහම්මද් නබි නායකතුමන්ගේ ජන්ම දිනය සහ ගුණසමරුව නිමිත්තෙන් පැවැත්වෙන 42 වන ජාතික මීලාද් උන් නබි මහෝත්සවය මෙවර ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව, පෙරියමුල්ල අල් හිලාල් විද්‍යාල පරිශ්‍රයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇති බව ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ඇමැති මුනීර් මුලව්ෆර් මහතා ප්‍රකාශ කළේය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළ අතර, වසර 28කට පසුව ගම්පහ දිස්ත්‍රික්කය මුල් කරගනිමින් රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වෙන මෙම ජාතික උත්සවය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව මීගමුව ප්‍රදේශයේ පලුදු වූ ජාතික සමගිය, සහජීවනය සහ සහෝදරත්වය නැවත ශක්තිමත්ව ගොඩනැඟීමේ ප්‍රධාන මංසන්ධියක් වනු ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය. මෙහි අලංකරණ කටයුතු සඳහා සිංහල, දෙමළ, මුස්ලිම් මෙන්ම කතෝලික ආදී සියලුම ආගම් නියෝජනය කරන තරුණයන් එක්වීම ඉතා සුබවාදී ප්‍රවණතාවක් බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
















