ශ්‍රී ලංකා CERT ආයතනය, ශ්‍රී ලංකා පොලිසිය සහ පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසය එක්ව දකුණු පළාතේ ගාල්ල, මාතර සහ තංගල්ල පොලිස් කොට්ඨාසවල රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් 300කට අධික පිරිසක් සඳහා විශේෂ සයිබර් ආරක්ෂණ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් පවත්වා තිබේ.
පොලිස් නිලධාරීන්ගේ සයිබර් ආරක්ෂණ දැනුම වර්ධනය කිරීම මෙන්ම මතුවෙමින් පවතින සයිබර් තර්ජන සහ ඩිජිටල් අපරාධ හඳුනා ගැනීම, වැළැක්වීම සහ ඒවාට කාර්යක්ෂමව ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත. නූතන සයිබර් අපරාධ ප්රවණතා, සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන වංචා, ඩිජිටල් සාක්ෂි ආරක්ෂා කිරීම සහ තොරතුරු ආරක්ෂණ පිළිවෙත් පිළිබඳ ප්‍රායෝගික දැනුම මෙහිදී පොලිස් නිලධාරීන් වෙත ලබා දී තිබේ. පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණු අතර, නීතිය ක්‍රියාත්මක කරන අංශය තුළ ශක්තිමත් සයිබර් ආරක්ෂණ සංස්කෘතියක් ගොඩනැගීම සඳහා ඉදිරියටත් මෙවැනි වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතය.














