කොළඹ 07 පිලිප් ගුණවර්ධන මාවතේ පිහිටි පැරණි තුරඟ පිටියේදී නිමාව දුටු ශ්‍රී ලංකා පාසල් අවුරුදු 16 න් පහළ ප්රමුඛ පෙළ බාලක පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට යාපනය නෙල්ලිඅඩි මධ්‍ය මහ විදුහල සමත් වී තිබේ.
දිවයිනේ ප්‍රමුඛතම පාසල් 23ක් අභිබවමින් මෙම වයස් කාණ්ඩයේ ශූරයන් උදෙසා පිරිනැමුණු “මයිලෝ අභියෝග කුසලාන” උතුරු පළාතට රැගෙන යාමට නෙල්ලිඅඩි මධ්‍ය මහ විදුහල සමත් වීම විශේෂත්වයකි. එෙන්ම, අවුරුදු 16 න් පහළ ප්රමුඛ පෙළ ශූරතාවක් මෙම විදුහල දිනාගත් පළමු අවස්ථාව මෙය වීමද කැපී පෙනේ.
නෙල්ලිඅඩි මධ්‍ය මහ විදුහල සහ බදුල්ල ධර්මදූත විදුහල අතර පැවැති තීරණාත්මක අවසාන මහ තරගය සඳහා නියමිත කාලය අවසන් වන විට දෙපිලම ගෝල් 01 බැගින් ලබා ගනිමින් සම තත්ත්වයේ පසු විය. ඒ අනුව, ජයග්‍රාහකයන් තෝරා ගැනීම සඳහා ක්‍රියාත්මක කළ දඬුවම් පහර මාලාවේදී ගෝල් 04 – 03ක් ලෙස ජය වාර්තා කරමින් නෙල්ලිඅඩි මධ්‍ය මහ විදුහල මෙවර ශූරතාව තමන් සතු කර ගත්තේය.














