පසුගිය යුද සමයේදී ආරක්ෂක අංශ වෙත පවරාගත්, මේ වන විට නිදහස් කළ හැකි බවට හඳුනාගෙන ඇති උතුරු සහ නැගෙනහිර පළාත්වල ඉඩම් කඩිනමින් නිදහස් කර අදාළ පාර්ශ්වයන් වෙත ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරක්ෂක අංශ වෙත උපදෙස් දී තිබේ.
උතුරු සහ නැගෙනහිර පළාත් තුළ යුද සමයේ හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා පවරාගත් පෞද්ගලික ඉඩම් සහ ජනතාව විසින් පරිහරණය කරන ලද රජය සතු ඉඩම් නැවත අදාළ පාර්ශ්වයන් වෙත ලබා දීම කඩිනම් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත.
ජාතික ආරක්ෂාව තහවුරු කිරීම මෙන්ම හමුදා කඳවුරු පිහිටුවිය යුතු ස්ථාන තීරණය කිරීම ආරක්ෂක අංශවල වගකීම වන අතර, ඒ මත පදනම්ව නිදහස් කළ හැකි සහ කළ නොහැකි ඉඩම් මොනවාද යන්න පිළිබඳව අවසන් තීරණයකට එළැඹෙන ලෙස ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. අත්‍යවශ්‍ය ඉඩම් ප්‍රමාණය තීරණය කිරීමේදී හැකිතාක් ජනතාවගේ පැත්තෙන් සිතා, බැහැර කළ හැකි උපරිම ඉඩම් ප්‍රමාණය නිදහස් කරන ලෙස ඔහු අවධාරණය කළේය.
මීට අමතරව, නිදහස් කරනු ලබන ඉඩම්වලට අමතරව එම ජනතාවගේ ජීවනෝපාය මාර්ග නංවාලීම සඳහා නවීන කෘෂි තාක්ෂණය සහිත ඉහළ ඵලදායීතා ව්‍යාපෘති හඳුන්වා දෙන ලෙස කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.
මෙම සාකච්ඡාව සඳහා ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර යන මහත්වරුන්, උතුරු හා නැගෙනහිර පළාත්වල මහජන නියෝජිතයන්, ආරක්ෂක අමාත්‍යාංශයේ සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරුන්, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.














