ප්‍රවීණ ගායනවේදිනී විශාරද ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ අභාවය සම්බන්ධයෙන් ප්‍රවීණ ඡායාරූප ශිල්පී දයාන් විතාරණ මහතා සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි ඉතා සංවේදී සටහනක් සහ ඇයගේ අතීත ඡායාරූප එකතුවක් පළ කර තිබේ.
“මේ තරම් විසල් අහසක් සෝ දුකින් පුරවා, ජාතියේ යශෝරාවය අපෙන් දුරස් වූ වග කෙසේ නම් අදහාගන්නේද අප…” යනුවෙන් තම හැඟීම් ප්‍රකාශ කර ඇති ඔහු, ජාතියේ යශෝරාවය ලෙස එදා මෙදාතුර මෙන්ම මතු මතුවටත් නොමද සම්භාවනාවට පාත්‍ර වන අග්‍රගන්‍ය ගායනවේදිනී නන්දා මාලනී අද සිය ජීවන ගීතය ගයා නිම කළ බව සඳහන් කර ඇත. තමා කුඩා කාලයේ පාසල් යන අවදියේ තම පියා තමාට කියා දුන් එකම ගුරුවරිය ඇය බව පවසමින් දයාන් විතාරණ ඇය සමඟ ගත කළ අතීත මතකයන් මෙන්ම ගෞරවනීය ඇසුර ඉතා සංවේදී අයුරින් සිහිපත් කර තිබේ.
















