පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අධ්‍යක්ෂ ලෙසට, යුද හමුදා වෛද්‍ය මණ්ඩලයක් මගින් රාජ්‍ය සේවයට නුසුදුසු සේ සලකා විශ්‍රාම ගන්වන ලද පුද්ගලයෙකු පත්කිරීමේදී අනුගමනය කර ඇති සමස්ත ක්‍රියාවලිය පිළිගත නොහැකි බව කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පසුගිය 19 වන දින පැවැති කෝප් කමිටු සමාලෝචන රැස්වීමේදී පැහැදිලිව ප්‍රකාශ කර තිබේ.
මෙම අවස්ථාවේදී කොන්ත්‍රාත් පදනම මත බඳවාගන්නා පුද්ගලයන් සඳහා එසේ වෛද්‍ය නිර්දේශ ලබාගැනීමක් පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් කිසිදිනෙක නොකරන බව උපකුලපති ටෙරන්ස් මධුජිත් ප්‍රකාශ කළ අවස්ථාවේදී කෝප් සභාපතිවරයා ප්‍රශ්න කර සිටියේ එසේ සිදු නොකර සිටීමට බලය ලබාදී ඇත්තේ කවුරුන් විසින්ද යන්නයි. රාජ්‍ය සේවය සඳහා වන පොදු නිර්ණායක අනුගමනය නොකර සිටීමට කිසිවෙකුට බලයක් ඇත්දැයි ඔහු උපකුලපතිවරයාගෙන් විමසා සිටියේය.
මෙම අවස්ථාවේදී උපකුලපති මධුජිත්ගේ මෙම නිෂ්ඵල තර්ක කිරීමට බාධා කළ අධ්‍යාපන ලේකම් නාලක කළුවැව මහතා කෝප් කමිටු සභාපතිවරයාගේ ස්ථාවරය සම්පූර්ණයෙන්ම නිවැරදි බවත් තමන් එය විවාදයකින් තොරව පිළිගන්නා බවත් කියා සිටි අතර අධ්‍යක්ෂ ආරක්ෂක නමින් සිදුකර ඇති පත්කිරීම වරද සහගත පත්කිරීමක් බව තහවුරු කර සිටින ලදී.
අධ්‍යාපන ලේකම්වරයාගේ මෙම පැහැදිලි ස්ථාවරය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාගේ අනීතික ක්‍රියාවලියට එල්ල කළ ”අතුල් පහරක්” බව විචාරකයන් පෙන්වා දෙනු ලබයි.
















