වාද්දූව ප්‍රදේශයේ පිහිටි ප්‍රකට සුඛෝපභෝගී හෝටලයක් වන The Blue Water Hotel පරිශ්‍රය අසලදී අහිංසක සුනඛයන් සිව්දෙනෙකු අමානුෂික ලෙස ඝාතනය කර ඇති බවට බරපතළ චෝදනාවක් එල්ල වී තිබේ.
අගෝස්තු 19 වැනිදා රාත්‍රියේ හෝටලය අවට මාර්ගයේ ගැවසෙමින් සිටි බව කියන මෙම සතුන්ට වස ලබාදී, පසුව විදුලි වැටකට සම්බන්ධ කර අතිශයින් කෲර අයුරින් මරා දැමූ බවට වාර්තා වේ. සංචාරකයන්ට සුඛෝපභෝගීත්වය සහ සොබාදහම සමඟ බැඳුණු අත්දැකීම් ලබාදෙන බව පවසන ආයතනයක මෙවැනි සිදුවීමක් වාර්තා වීම සමාජයේ දැඩි පිළිකුලට හා කම්පාවට හේතු වී ඇත. සතුන්ට යම් ගැටළුවක් පවතී නම් ඒ සඳහා නීත්‍යානුකූල සහ මානුෂීය ක්‍රමවේද තිබියදී, වස ලබාදීම සහ විදුලිය යොදා ගැනීම වැනි ක්‍රම මඟින් ජීවිත හතරක් අතිශය වේදනාකාරී ලෙස අවසන් කිරීම කිසිදු ශිෂ්ට සමාජයක අනුමත කළ නොහැක්කකි.
මෙම අමානුෂික සිදුවීම සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට එරෙහිව වහාම නීතිමය පියවර ගත යුතු බවට සත්ව හිමිකම් ක්‍රියාකාරීන් මෙන්ම මහජනතාව දැඩි ලෙස ඉල්ී සිටිති. සිද්ධිය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වා, මියගිය සතුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීම, CCTV දර්ශන ආරක්ෂා කර ගැනීම සහ වගකිව යුතු පුද්ගලයන් නීතිය හමුවට ඉදිරිපත් කිරීම බලධාරීන්ගේ වගකීම වේ. සත්ව හිංසනය කිසිදු නාමයකින් සාධාරණීකරණය කළ නොහැකි අතර, අහිංසක ජීවිත වෙනුවෙන් නිහඬව නොසිට නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටී.
















