අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ ගායන ශිල්පිනී, ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ නිසල දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (21) පස්වරුවේ එක්විය. ජනාධිපතිවරයා නාවල පිහිටි ඇගේ නිවස වෙත පැමිණ මෙසේ අවසන් ගෞරව දැක්වීය.
සිංහල සුභාවිත ගීත කලාවේ මෝහනීය හඬ පෞරුෂය වූ ආචාර්ය නන්දා මාලිනිය ඊයේ (20) පස්වරුවේ සිය දිවි සැරිය නිමා කරන විට 82 වන වියෙහි පසුවූවාය. ඇගේ 83 වන උපන්දිනය ලබන ඉරිදා (23) දිනට යෙදී තිබුණි. ඇගේ අභාවය වෙනුවෙන් අගෝස්තු 21, 22 සහ 23 යන තෙදින ජාතික ශෝක දින ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර ඇත. මේ වන විට විශාල පිරිසක් ඇගේ දේහයට අවසන් ගෞරව දක්වමින් සිටින අතර, දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (22) සෙනසුරාදා පස්වරු 5.00 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.















