වතුකරයේ ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම සහ ප්‍රදේශයේ ධීවරයින්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් මාවුස්සාකැලේ ජලාශයට මිරිදිය මත්ස්‍ය පැටවුන් 60,000 ක් අද (21) මුදා හැරීමට පියවර ගෙන තිබේ. නුවරඑළිය දිස්ත්‍රික් ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත.
මධ්‍යම පළාත් සභාවේ ප්‍රතිපාදන මත උඩවලව මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයෙන් ලබාගත් මෙම මත්ස්‍ය පැටවුන් මාස 9–10 ක් ඇතුළත කිලෝග්‍රෑම් 1 සිට 1.5 දක්වා වර්ධනය වන බව නිලධාරීහු පවසති. මෙමඟින් ලබාගන්නා මත්ස්‍ය අස්වැන්න වතුකරයේ ජනතාවට සහනදායී මිලකට ලබාදීමට හැකියාව ලැබෙන අතර, ප්‍රදේශයේ සංචාරක හෝටල්වල පවතින ඉල්ලුම සපයමින් ධීවර ප්‍රජාවගේ ආදායම් මාර්ග ද ඉහළ නැංවීමට අපේක්ෂිතය.
















