එල්නිනෝ දේශගුණික බලපෑමට මුහුණදීම සඳහා පත් කරන ලද විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සහ නිලධාරී කමිටුවේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.
මේ වන විට බලපා ඇති එල්නිනෝ තත්ත්වය හමුවේ මතුව ඇති ගැටලු විසඳා ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ගවල ප්‍රගතිය, ජනතාවගේ පානීය සහ අනෙකුත් ජල අවශ්‍යතා මෙන්ම කෘෂිකර්ම කටයුතු සඳහා ජලය සැපයීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබේ. පසුගිය යල කන්නයේදී පූර්ව සූදානමකින් යුතුව වගා කටයුතු සිදු කිරීම හේතුවෙන් වගා හානි අවම මට්ටමක පවතින බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් පෙන්වා දී ඇති අතර, ඉදිරි වගා සැලසුම් සහ ජාතික ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද ජනාධිපතිවරයා කරුණු විමසා ඇත.
















