ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආහාර කර්මාන්ත ප්‍රදර්ශනය වන ‘Pro Food – Pro Pack – Ag Biz and Knowledge Hub 2026’ ප්‍රදර්ශනය 23 වැනි වරටත් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී (සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන ශාලාවේ) ආරම්භ විය.
ශ්‍රී ලංකා ආහාර ඇසුරුම්කරුවන්ගේ සංගමය, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සමඟ එක්ව සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශනය අගෝස්තු 21, 22 සහ 23 යන දින තුන පුරා පැවැත්වේ. චීනය, ඉන්දියාව සහ ජර්මනිය ඇතුළු රටවල් නියෝජනය කරමින් විදේශීය ප්‍රදර්ශන කුටි ඇතුළුව ප්‍රදර්ශන කුටි 450කට අධික සංඛ්‍යාවකින් මෙවර ප්‍රදර්ශනය සමන්විත වේ.
ආහාර සැකසීම, ඇසුරුම් කිරීම සහ කෘෂිකාර්මික නවෝත්පාදනයන් සඳහා මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ශක්තිමත් කිරීම අරමුණු කරගත් මෙම ප්‍රදර්ශනය තුළ, කුඩා හා මධ්‍ය පරිමාණ ආහාර සැකසුම්කරුවන් වෙනුවෙන් විශේෂිත SME මණ්ඩපයක්ද ක්‍රියාත්මක වේ. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර සහ ශ්‍රී ලංකා ආහාර ඇසුරුම්කරුවන්ගේ සංගමයේ සභාපති අරුණ සේනානායක ඇතුළු පිරිසක් මෙම සමාරම්භක අවස්ථාවට එක් වූහ.
















