මෙරට සිදුවන රිය අනතුරුවලින් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන යතුරුපැදි අනතුරු අවම කිරීම සඳහා යතුරුපැදිවලට පමණක් වෙන්වූ විශේෂ මංතීරුවක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. වසරකට යතුරුපැදි අනතුරුවලින් පුද්ගල මරණ 1000කට අධික සංඛ්‍යාවක් සිදුවන අතර, තවත් විශාල පිරිසක් සදාකාලික ආබාධිත තත්ත්වයට පත්වන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. මැලේසියාව වැනි රටවල් අනුගමනය කරන සාර්ථක ක්‍රමවේදයන් මෙරටට ද හඳුන්වා දෙමින්, ප්‍රධාන මාර්ගවල අඩි 6ත් 9ත් අතර පළලකින් යුත් මංතීරුවක් යතුරුපැදි සඳහා පමණක් වෙන් කිරීමට සහ වෙනත් වාහනවලට ඇතුළත් විය නොහැකි පරිදි තාක්ෂණික ක්‍රමවේදයන් යොදා ගැනීමට සැලසුම් කර ඇත.
පළමු අදියර යටතේ නාගරික ආශ්රිත ‘A’ සහ ‘B’ ශ්‍රේණියේ මාර්ගවල මෙය ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, මෙම වැඩපිළිවෙළේ නියමු ව්‍යාපෘතිය මඩකලපුව දිස්ත්‍රික්කයේ කළුවංචිකුඩි නගරයෙන් ආරම්භ කිරීමට දැනටමත් සැලසුම් කර ඇත. මැලේසියාවේ මෙවැනි මංතීරු හඳුන්වා දීමෙන් යතුරුපැදි මරණ සියයට 70කින් පමණ අඩු කර ගැනීමට හැකි වී ඇති බව අමාත්‍යවරයා සිහිපත් කළේය. “පාරවල් අයිති රෝද හතරේ වාහනවලට විතරක් නෙවෙයි, රෝද දෙකේ වාහන පාවිච්චි කරන අතිමහත් බහුතරයකටත් පාරේ අයිතිය තියෙනවා. ඒ නිසා ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මුදල් වෙන් කිරීමට රජය සූදානම්,” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
















