ගුවන් නියමුවරියක ලෙස පෙනී සිටිමින් විදෙස් රැකියා ලබා දෙන බව පවසා කෝටි ගණනක මුදලක් වංචා කළ 44 හැවිරිදි කාන්තාවක් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අනුරාධපුර – නොච්චියාගම ප්‍රදේශයේ පදිංචිකාරියක වන මෙම සැකකාරිය, රත්මලාන ගුවන්තොටුපළේ ගුවන් නියමුවරියක ලෙස හඳුන්වා දී බස් රථ හිමිකරුවකුගෙන් බස් රථයක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 60 ක මුදලක් ඇතුළුව රුපියල් එක් කෝටි තිස් පන් ලක්ෂයකට අධික මුදලක් වංචා කර ඇත. මුදල් ලබාගැනීම සඳහා ඇය ව්‍යාජ ලෙස ගුවන් හමුදා නිල ඇඳුමකින් සැරසී පැමිණ ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබේ.
කුරුණෑගල ප්‍රදේශයේදී සැකකාරිය සහ ඇයගේ ස්වාමිපුරුෂයා යැයි සැක කෙරෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මාතර ප්‍රදේශයේ කාන්තාවකගෙන් ලක්ෂ 22 ක මුදලක් වංචා කිරීම ඇතුළුව කොල්ලුපිටිය සහ බම්බලපිටිය ඇතුළු පොලිස් ස්ථාන 15 කට ඇයට එරෙහිව පැමිණිලි ලැබී ඇති බව පොලිසිය පවසයි.
















