ලබන මාසයේ ජිනීවා නුවරදී ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 63 වැනි සැසිවාරයේදී, මෙරට බන්ධනාගාර තුළ මෑතකදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිත බව Sunday Times පුවත්පත වාර්තා කරයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති අතර, ශ්‍රී ලංකාවේ ප්රතිසන්ධානය, වගවීම සහ මානව හිමිකම්වල ප්‍රගතිය පිළිබඳ යාවත්කාලීන කරන ලද ලිඛිත වාර්තාවක් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් ඉදිරිපත් කිරීමට නියමිතය. මානව හිමිකම් ප්‍රවර්ධනය සහ වගවීම සම්බන්ධයෙන් රජය ලබා ඇති ප්‍රගතිය පිළිබඳ ප්‍රතිචාරය ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා විසින් එහිදී ඉදිරිපත් කරනු ඇත.
මේ පිළිබඳව අදහස් දක්වන විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය මතු කළ කරුණු රැසකට රජය මේ වන විටත් විසඳුම් ලබා දී ඇති බවයි. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය සහ හානිපූර්ණ කාර්යාලය ශක්තිමත් කර ඇති අතර, ජාති, ආගම් හෝ වෙනත් භේද මත පදනම්ව සිදුවන වෙනස්කම් අවම කිරීමට රජය පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා පැවසීය. මේ අතර, විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ලබන මාසයේ නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ වාර්ෂික සැසිවාරයට සහභාගී වීමට නියමිත අතර, සැප්තැම්බර් 26 වැනිදා ඔහු මහා මණ්ඩලය ඇමතීමට නියමිතව ඇත. වත්මන් මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතාගේ ධුර කාලය දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වන බැවින්, මීළඟ මහලේකම්වරයා තෝරා ගැනීමේ ක්‍රියාවලිය සඳහා චිලී රාජ්‍යයේ හිටපු ජනාධිපතිනී මිෂෙල් බැචලට් සහ කොස්ටාරිකාවේ හිටපු උප ජනාධිපතිනී රෙබෙකා ග්‍රින්ස්පන් ඇතුළු ජාත්‍යන්තර නායකයන් කිහිප දෙනෙකුම අපේක්ෂකත්වයට ඉදිරිපත්ව සිටිති.
















