8 වන සහ 9 වන පාර්ලිමේන්තු සභාවාරයන්හි කථානායක, නියෝජ්‍ය කථානායක සහ පාර්ලිමේන්තු මහලේකම් ඇතුළු උසස් තනතුරු දරන්නන්ගේ ඉන්ධන භාවිතය සහ වරප්‍රසාද සම්බන්ධයෙන් විශේෂ විගණන වාර්තාවක් මඟින් තොරතුරු අනාවරණය කර තිබේ. කථානායකවරයාට ඉන්ධන භාවිතය සම්බන්ධයෙන් සීමාවන් පනවා නොතිබීම හේතුවෙන් 9 වන පාර්ලිමේන්තුවේ අවසන් වර්ෂ දෙක වන 2023 සහ 2024 වර්ෂවලදී ඔහු සාමාන්‍යයෙන් මාසිකව පිළිවෙළින් ඉන්ධන ලීටර් 3,994ක් හා 6,122ක් භාවිත කර ඇති බවත්, එය 2022 වර්ෂයට සාපේක්ෂව පිළිවෙළින් 66%ක සහ 155%ක ප්‍රශ්නගත වර්ධනයක් බවත් වාර්තාව පෙන්වා දෙයි. මේ සඳහා අදාළ වර්ෂවලදී පිළිවෙළින් රුපියල් 19,373,866ක සහ රුපියල් 26,045,103ක වියදමක් දරා ඇත.
නියෝජ්‍ය කථානායක ධුරය කැබිනට් නොවන අමාත්‍ය ධුරයකට සමාන කර වරප්‍රසාද ලබා දී තිබුණද, නියමිත ඉන්ධන සීමාවන් ඉක්මවා වාහන තුනකට අමතරව පෞද්ගලික මෝටර් රථයක් සඳහාද රුපියල් 8,545,037ක් වටිනා ඉන්ධන ලීටර් 21,299ක් ලබාගෙන ඇති බව හෙළි වී ඇත. මීට අමතරව, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා 2022 සහ 2023 වර්ෂවලදී එකවර නිල වාහන දෙකක් භාවිත කර ඇති අතර, 2022 සිට 2024 දක්වා කාලය තුළ අමාත්‍යාංශ ලේකම්වරයෙකුට හිමිවන ප්‍රමාණය මෙන් විශාල අතිරික්තයක් ලෙස ඉන්ධන ලීටර් 15,063ක් (රුපියල් 6,071,690ක් වටිනා) භාවිත කර ඇත. එපමණක් නොව, නියෝජ්‍ය මහලේකම් සහ සහකාර මහලේකම්වරුන්ගේ සීමාව ඉක්මවූ පෞද්ගලික වාහන භාවිතය සඳහා රුපියල් 8ක අවම මුදලක් අය කිරීම නිසා 2015 සිට 2022 ජුනි දක්වා කාලය තුළ රජයට රුපියල් 2,712,995ක මුදලක් අහිමි වී ඇති බවද විගණන වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.















