කොළඹ කුරුඳුවත්ත, සොයිසා වටරවුම ආසන්නයේදී මහජනතාව බලා සිටියදීම පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකුගේ හිසට වායු රයිපලයක් එල්ල කර මරණීය තර්ජනය කර පළාගිය එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය තහවුරු කළ ආකාරයට අත්අඩංගුවට පත් සැකකරුවන් අතර පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවියක්, තවත් සිසුවෙකු සහ නාවික හමුදා නිලධාරියෙකු ද වෙති. මෝටර් රථයකින් පැමිණි පිරිස බස් රථයට මග හරස් කර මෙම තර්ජනය සිදු කර ඇති අතර, 119 හදිසි ඇමතුමකට අනුව ක්‍රියාත්මක වූ පොලිසිය බොරැල්ල, කනත්ත අසල කිතුල්වත්ත මාර්ගයේදී අදාළ මෝටර් රථය වටලා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම මෙහෙයුමේදී සැකකරුවන් සතුව තිබී වායු පිස්තෝලයක්, වායු උණ්ඩ 15 ක් සහිත මැගසිනයක්, පිහි 2 ක්, යකඩ නකල් එකක් සහ අඩි දෙකක් දිගැති ටයිමින් චේන් එකක් පොලිස් භාරයට ගෙන තිබේ. මෝටර් රථයට බස් රථයෙන් මාර්ගය අවහිර වීම නිසා ඇති වූ කෝපයක් මත මෙම අපරාධය සිදු කර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇති අතර, කුරුඳුවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
















