කොළඹ කොටස් වෙළෙඳපොළෙන් අද (24) දින වාර්තාගත රු. බිලියන 16.85ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබේ. 2025 ජූලි 16 දිනෙන් පසු තනි දිනක් තුළ වාර්තා වී තිබෙන ඉහළම පිරිවැටුම මෙය වන අතර, එදින රු. බිලියන 17.01ක පිරිවැටුමක් වාර්තා වී ඇති බව දත්ත පෙන්වා දෙයි. මූලිකවම සමාගම් දෙකක ගිවිසාගනු ලැබූ කොටස් හුවමාරු හරහා මෙම දැවැන්ත පිරිවැටුම වාර්තා වී ඇත.
ප්රධාන වශයෙන් CT හෝල්ඩිංග්ස් සමාගමේ කොටස් මිලියන 20.14ක් එක් කොටසක් රු. 575ක් බැගින් ගිවිසාගනු ලැබූ ගනුදෙනු ලෙස හුවමාරු වී ඇති අතර, ඒ හරහා රු. බිලියන 11.58ක පිරිවැටුමක් වාර්තා විය. මීට අමතරව කාගිල්ස් (සිලෝන්) සමාගමේ කොටස් මිලියන 6ක් එකක් රු. 700 බැගින් ගනුදෙනු වී තිබුණු අතර, ඒ හරහා වාර්තා වී තිබුණු පිරිවැටුම රු. බිලියන 4.2 කි.
කාගිල්ස් (සිලෝන්) හි 71.18%ක බහුතර කොටස් හිමිකාරීත්වය එහි මව් සමාගම වන CT හෝල්ඩිංග්ස් පීඑල්සී සතුව පවතියි. වාර්තා වන අන්දමට CT හෝල්ඩිංග්ස් හි දෙවැනි විශාලතම කොටස් හිමියා වූ Ranjit Page මහතා විසින් එහි 10%කට ආසන්න ප්රමාණයක් වූ සිය කොටස් හිමිකාරීත්වය අද දින අලෙවි කර තිබේ.
















