ශ්‍රී ලංකාවේ නීති සම්පාදන ක්‍රියාවලිය නව තාක්ෂණය සමඟ ඉදිරියට ගෙනයමින් කෘත්‍රිම බුද්ධිය (AI) ඊට සම්බන්ධ කිරීමේ මූලික පියවරක් ලෙස “වඩා යහපත් නීති සම්පාදනය සඳහා වඩා යහපත් මෙවලම්” (Better Tools for Better Lawmaking) විශේෂ වැඩමුළුවක් නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේදී පවත්වා තිබේ. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ GovTech ශ්‍රී ලංකා ආයතනය එක්ව සංවිධානය කළ මෙම වැඩමුළුව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය, ඉංජිනේරු එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙහිදී නීති කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලිය සඳහා කෘත්‍රිම බුද්ධිය භාවිත කිරීමේ දැක්ම සහ වැඩපිළිවෙළ ඉදිරිපත් කෙරුණු අතර, එහි පළමු පියවර ලෙස යෝජිත අතථ්‍ය වත්කම් සේවා සපයන්නන්ගේ (VASP) පනත් කෙටුම්පත සඳහා මෙම AI තාක්ෂණය භාවිත කිරීමට යෝජනා වී ඇත. මීට සමගාමීව, AI තාක්ෂණය ඔස්සේ කෙටුම්පත් කිරීම, තහවුරු කිරීම සහ ත්‍රිභාෂා නිෂ්පාදන මෙවලම් භාවිතයේ ප්‍රායෝගික හැකියාවන් පෙන්වා දෙමින් GovTech ශ්‍රී ලංකා ආයතනයේ නීති උපදේශක ත්‍රිදේශ් ප්‍රනාන්දු මහතා ඇතුළු ඉෂාන් රසීන් සහ චින්තනී ඈපා ආරච්චි යන මහත්ම මහත්මීන් විසින් දැනුම හුවමාරු කර ගැනීමේ සැසියක්ද පවත්වා තිබේ.
එමෙන්ම එහිදී දත්ත සූදානම, ආරක්ෂණ ක්‍රමවේද සහ නියමු ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම පිළිබඳව දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගත් අතර, මෙම සාකච්ඡාව සඳහා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ GovTech ශ්‍රී ලංකා සභාපති ආචාර්ය හාන්ස් විජයසූරිය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල, නීති කෙටුම්පත් සම්පාදක දිල්රුක්ෂි සමරවීර යන මහත්ම මහත්මීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
















