ජනාධිපති අරමුදල මගින් ලොතරැයි අලෙවි සහායකවරුන්ගේ දූ දරුවන් වෙනුවෙන් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන උතුරු මැද පළාතෙන් ආරම්භ කර තිබේ. අඩු ආදායම්ලාභී ලොතරැයි අලෙවි සහායකවරුන්ගේ දරුවන් සඳහා 2026 වසරේ සිට ජනාධිපති අරමුදල මගින් පිරිනැමෙන මෙම අධ්‍යාපනික ශිෂ්‍යත්ව වැඩසටහනේ සමාරම්භක අවස්ථාව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේදී පැවැත්විණි.
අමාත්‍ය සුසිල් රණසිංහ, ජනාධිපති අරමුදලේ ලේකම් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රොෂාන් ගමගේ යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. ලොතරැයි අලෙවියෙන් ජනාධිපති අරමුදලට ලැබෙන මූල්‍ය දායකත්වය අගය කරමින් ලොතරැයි අලෙවිකරුවන් වෙත කෘතගුණ සැලකීමක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, දිවයිනේ සෑම පළාතක්ම ආවරණය වන පරිදි පළමු ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා පාසල් අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරේ. මෙහිදී අදහස් දැක්වූ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේ, ජනාධිපති අරමුදල වෙත අද ලැබෙන සෑම රුපියලකම ප්‍රතිලාභ සහන අවැසි ජනතාවට හිමි වන බවයි.














