පෞද්ගලික අංශයේ සේවකයන්ට සැප්තැම්බර් මාසයේ සිට අන්තර්ජාලය (Online) හරහා දුම්රිය වාර ප්‍රවේශපත්‍ර (Season Tickets) ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සපයන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසයි. දශක ගණනාවක් පුරා වෙනස් නොවී පැවති ක්‍රමවේදය වෙනස් කරමින් රාජ්‍ය සේවකයන් සඳහා මෑතකදී අන්තර්ජාල ක්‍රමයක් හඳුන්වා දීමෙන් අනතුරුව, මෙම පහසුකම පෞද්ගලික අංශයේ සියලුම සේවකයන් වෙතද මෙලෙස පුළුල් කිරීමට නියමිතය.
මීට පෙර මගීන්ට පෝලිම්වල රැඳී සිටිමින් සහ සේවා ස්ථානවලින් ලිපි ලබා ගනිමින් දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබා ගැනීමට සිදුවූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. දුම්රිය සේවයේ පවතින දුම්රිය හිඟය, වේලාවට ගමන් නොකිරීම සහ පහසුකම් අඩු වීම වැනි ගැටලු විසඳීමට කාලයක් ගත වන බවත්, නව එන්ජින් මිලදී ගැනීම, පවතින එන්ජින් අලුත්වැඩියා කිරීම සහ දුම්රිය මාර්ග උත්ශ්‍රේණි කිරීම වැනි දිගුකාලීන ක්‍රියාවලීන් අතීතයේ නිසි පරිදි සිදු කර නොමැති බවත් ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත්, දුම්රිය ස්ථානවල පහසුකම් වැඩිදියුණු කිරීම වැනි ඉක්මනින් ක්‍රියාත්මක කළ හැකි සංවර්ධන කටයුතු අඛණ්ඩව සිදු කරන බවත්, ඉදිරියේදී නවීකරණය කරන ලද දුම්රිය ස්ථාන කිහිපයක් ජනතාවට විවෘත කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.














