මැතිවරණ සමයේ ලබා දුන් පොරොන්දු වත්මන් රජය සම්පූර්ණයෙන්ම අමතක කර ඇති බවත්, විදුලි බිල 33%කින් අඩු කිරීම, වරායේ මිලට තෙල් ලබා දීම සහ තරුණයන්ට ලක්ෂ 12කට කාර් රථ ලබා දෙන බවට පැවසූවත් අද එම පොරොන්දු ඉටු කර නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ, කැකිරාව, ආඩියාගල ප්‍රදේශයේ පැවැති සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.
රටේ පවතින ගොවි ප්‍රශ්න, දුප්පත්කම සහ විරැකියාව වැනි ප්‍රධාන ගැටලු විසඳනවා වෙනුවට රජය ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම වැනි කාරණා මූලික කරගෙන කටයුතු කිරීම නිසා රටේ ලක්ෂ 220ක් වන සමස්ත ජනතාවම අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇති බවද විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
### ගොවි ජනතාව මුහුණ දී සිටින දැඩි අර්බුදය
මැතිවරණ සමයේ ගොවීන් “රජවරුන්” සහ “දෙවිවරුන්” ලෙස හැඳින්වූවද, අද වන විට වී සඳහා සාධාරණ මිලක් ඉල්ලා සිටින ගොවීන්ට රජය අපහාස කරමින්, කෘත්‍රිම ගොවීන් සහ කසිප්පුකාරයන් ලෙස හංවඩු ගසමින් ප්‍රහාර එල්ල කරන බව විපක්ෂ නායකවරයා චෝදනා කළේය.
වී කිලෝවක් නිෂ්පාදනය සඳහා රුපියල් 137ක මුදලක් වැය වන බව කෘෂිකර්ම අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබියදී, රජය ලබා දෙන්නේ රුපියල් 120ක මුදලක් පමණක් බවත්, මීට පෙර විපක්ෂයේ සිටියදී වී කිලෝවකට රුපියල් 150ක සහතික මිලක් දෙන බවට පොරොන්දු වූවත් අද ගොවියා කිලෝවකින් රුපියල් 17ක පාඩුවක් ලබමින් අන්ත අසරණ වී ඇති බවත් ඔහු පැවසීය.
එබැවින් ගොවි ජනතාවගේ අයිතිවාසිකම් සහ බලාපොරොත්තු දිනා ගැනීම සඳහා මහපාරට බැස සටන් කිරීමට කාලය එළැඹ ඇති බවත්, ඒ සඳහා සමගි ජන බලවේගය නායකත්වය ලබා දීමට සූදානම් බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.














