ඇමරිකා එක්සත් ජනපදයට කෙටි කාලීන සංචාරක හෝ ව්‍යාපාරික වීසා මගින් පැමිණ පසුව දේශපාලන රැකවරණ ඉල්ලා සිටි විදේශිකයන් 200,000 කගේ පමණ වීසා බලපත්‍ර අවලංගු කිරීමට ට්‍රම්ප් පරිපාලනය සූදානම් වන බව Hindustan Times පුවත් සේවය වාර්තා කරයි.
මෙය ඇමරිකානු ඉතිහාසයේ එක්වර සිදුකරන දැවැන්තම වීසා අවලංගු කිරීමේ පියවර ලෙස සැලකෙන අතර, 2016 සිට 2026 දක්වා කාලය තුළ නිකුත් කරන ලද B1 සහ B2 වීසා බලපත්‍ර හිමියන් මෙසේ ඉලක්ක කර ඇත. ඇමරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව සමඟ එක්ව ක්‍රියාත්මක කරන මෙම මෙහෙයුම මගින්, කෙටි කාලීන සංචාරක වීසා අවභාවිත කරමින් රට තුළ ස්ථිරව රැඳී සිටීමට අසත්‍ය රැකවරණ ඉල්ලීම් ඉදිරිපත් කිරීම වැළැක්වීම අරමුණු කරගන්නා බව රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක ටොමී පිගොට් පවසා ඇත.
මෙම වීසා අවලංගු කිරීම හේතුවෙන් අදාළ පුද්ගලයින් වහාම රටින් පිටුවහල් නොවන නමුත්, ඔවුන්ගේ සංචාරක හෝ ව්‍යාපාරික නීතිමය තත්ත්වය අහෝසි වන අතර ඉදිරියේදී නීතිමය අභියෝග රැසකට ද මුහුණ දීමට සිදුවනු ඇත. ඇමරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ක්‍රිස්ටෝෆර් ලැන්ඩෝ සඳහන් කර ඇත්තේ අභයභූමි ඉල්ලීම් යනු සංක්‍රමණික නීති රීති මඟහැරීමට භාවිත කරන හිඩැසක් නොවිය යුතු බවයි.














