ශ්‍රී ලංකා ජාතික රෝහලේ හෘද හා උරස් කුහර ශල්‍යකර්ම සේවා සඳහා පවතින අධික රෝගී ඉල්ලුම සහ දිගුකාලීන පොරොත්තු ලේඛන අර්බුදයට කඩිනම් විසඳුම් ලබා දීමේ අරමුණින් ආරක්ෂක අමාත්‍යාංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අතර ත්‍රිපාර්ශ්වික අවබෝධතා ගිවිසුමකට අද (25) අත්සන් තබා තිබේ. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ අමාත්‍ය මණ්ඩල යෝජනාවකට අනුව ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ යටතේ, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා සහ KDU උපකුලපති රියර් අද්මිරාල් එච්. ජී. යූ. ධම්මික කුමාර යන මහත්වරුන් මෙම ගිවිසුමට අත්සන් තැබූහ. රාජ්‍ය සේවා ආයතන අතර පවතින සම්පත් ඒකාබද්ධ කරමින් ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ජීවිත ආරක්ෂාකාරී සෞඛ්‍ය සේවාවක් ලබා දීම උදෙසා ගත් මෙම ඓතිහාසික පියවර ජාතික මට්ටමින් දැඩි අවධානයට ලක්ව ඇත.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල ශික්ෂණ රෝහල සතුව නවීන ශල්‍යාගාර සහ දියුණු වෛද්‍ය උපකරණ ඇතුළු උසස් පහසුකම් පැවතියද, විශේෂඥ සායනික කාර්යය මණ්ඩලයේ සීමිත බව හේතුවෙන් එම සම්පත් මෙතෙක් උපරිම මට්ටමින් භාවිත කිරීමට නොහැකි වී තිබුණි. මෙම ගිවිසුම හරහා ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සායනික කාර්යය මණ්ඩලයේ සක්‍රීය මැදිහත්වීම මත KDU රෝහල් පහසුකම් ජාතික රෝහලේ සේවාවන්හි දිගුවක් ලෙස භාවිත කිරීමට නියමිතය. මේ හරහා හෘද සැත්කම් සඳහා මාස ගණනාවක් තිස්සේ දිගු පොරොත්තු ලේඛනවල අපේක්ෂාවෙන් පසුවන අසරණ රෝගීන්ට අවශ්‍ය විශේෂඥ ප්‍රතිකාර සහ සැත්කම් කඩිනමින් ලබා ගැනීමට සුවිශේෂී මඟපෑදීමක් සිදුවනු ඇත.
රාජ්‍ය අංශයේ ආයතන අතර පවතින විෂමතා සහ සම්පත් හිඟකම් මඟහරවා ගැනීමට මෙවැනි අන්තර්-ආයතනික සහයෝගීතා වැඩපිළිවෙළක් අත්‍යවශ්‍ය වන අතර, ඉදිරියේදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින අනෙකුත් පොරොත්තු ලේඛන ගැටලු විසඳීම සඳහා ද මෙම ආකෘතිය පුළුල් කිරීමට අපේක්ෂිතය. රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කරමින් සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය සහ ප්‍රවේශ්‍යතාව ඉහළ නැංවීමට රජය ගෙන යන මෙම ක්‍රමෝපායික ප්‍රවේශය ඉදිරි කාලය තුළ මෙරට සෞඛ්‍ය පද්ධතියේ ප්‍රධාන හැරවුම් ලක්ෂයක් වනු නිසැීය.
















