ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහන පද්ධතිය තුළ දශක ගණනාවක් තිස්සේ නිසි නිල පිළිගැනීමකට ලක් නොවූ ත්‍රිරෝද රථ ක්ෂේත්රය විධිමත් ලෙස නියාමනය කිරීමේ රජයේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබේ.
රටේ පොදු ප්‍රවාහන පද්ධතියේ හිස්තැන් පියවන ප්‍රධාන මාධ්‍යයක් ලෙස සැළකෙන ත්‍රිරෝද රථ සඳහා ජාතික මට්ටමේ නියාමනයක් ගෙන ඒමේ පළමු පියවර ලෙස, ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) විසින් මගී ත්‍රිරෝද රථ, පාසල් හා කාර්යාල ප්‍රවාහන, කුලී රථ සහ සංචාරක සේවා ආවරණය වන පරිදි පුළුල් තොරතුරු රැස් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත. මෙරට සමස්ත වාහනවලින් ලක්ෂ 12කට අධික ප්‍රමාණයක් නියෝජනය කරන මෙම ක්ෂේත්රය තුළ රියැදුරන් ලියාපදිංචි කිරීම, වාහනවල තත්ත්වය පරීක්ෂා කිරීම, විධිමත් ගාස්තු ක්‍රමවේද සහ මගී ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නව නීති රීති හඳුන්වා දීමට නියමිතය. මීට අමතරව, පෙට්‍රල් ත්‍රිරෝද රථ විදුලිබලයට (Electric conversion) පරිවර්තනය කිරීම කෙරෙහි ද රජය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) අවධානය යොමු කර තිබේ.
















