ශ්‍රී ලංකාවේ ඩිජිටල් මූල්‍ය ක්ෂේත්රය නව පරිච්ඡේදයකට යොමු කරමින්, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ෆින්ටෙක් සංසදය (FinTech Forum Sri Lanka) එක්ව සංවිධානය කරන “ශ්‍රී ලංකා ෆින්ටෙක් ෆෙස්ටිවල් 2026″ නිවේදනය කර තිබේ.
ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අමාරි හෝටල් පරිශ්‍රයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී මේ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ අතර, එහිදී උළෙලේ නිල වෙබ් අඩවිය වන www.fintechfestival.lk ද එළිදක්වන ලදී.
මෙම දෙදින සමුළුව 2026 නොවැම්බර් 02 සහ 03 යන දිනවල කොළඹ ෂැංග්‍රි-ලා (Shangri-La) හෝටලයේදී පැවැත්වේ. ශ්‍රී ලංකාවේ ඩිජිටල් මූල්‍ය හැකියාවන් ප්‍රදර්ශනය කිරීම සහ දේශීය පරිසර පද්ධතිය කලාපීය හා ගෝලීය අවස්ථාවන් සමඟ සම්බන්ධ කිරීම සඳහා රජය, බැංකු, මූල්‍ය සේවා, ෆින්ටෙක් සහ තාක්ෂණික ක්ෂේත්රවල නායකයින් මෙයට එකතු වේ. මූල්‍ය ක්ෂේත්රයේ කෘත්‍රිම බුද්ධිය (AI in finance), ඩිජිටල් වත්කම්, දේශසීමා අතර ගෙවීම් සහ ප්‍රේෂණ, ටෝකන්කරණය, ඩිජිටල් මහජන යටිතල පහසුකම්, මූල්‍ය සම්පූර්ණත්වය, සයිබර් ආරක්ෂණය සහ මූල්‍ය වංචා වැළැක්වීම ආදී අනාගතය හැඩගස්වන ප්‍රධාන ප්රවණතා මෙහිදී සාකච්ඡා කෙරේ.
වැඩසටහන් මාලාව යටතේ, නොවැම්බර් 02 වන දින ජ්‍යෙෂ්ඨ නායකයින්ට සහයෝගීතා අවස්ථා ගවේෂණය සඳහා CEOs Night පැවැත්වෙන අතර, නොවැම්බර් 03 වන දින ප්‍රධාන දේශන සහ සංවාද මණ්ඩප රැසකින් සමන්විත “Sri Lanka FinTech Expo” පැවැත්වේ. එදින රාත්‍රියේ “FinTech Night” මඟින් උළෙල අවසන් වේ.
මෙම මාධ්‍ය හමුව සඳහා ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න, අමාත්‍යාංශ ලේකම් වරුණ ශ්‍රී ධනපාල, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය, ෆින්ටෙක් සංසදයේ සභාපති චන්න ද සිල්වා සහ උප සභාපති කොන්රාඩ් ඩයස් යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් එක්ව සිටියහ.














