බන්ධනාගාර තුළ හදිසි තත්ත්වයන් කළමනාකරණය කිරීම සහ රැඳවියන්ගේ සුබසාධන කටයුතු විධිමත් කිරීම අරමුණු කරගනිමින්, අන්තර් ආයතනික ඒකාබද්ධ යාන්ත්‍රණයක් වව්නියාව බන්ධනාගාරය මුල් කරගනිමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (26) නිල වශයෙන් ක්‍රියාත්මක කරනු ලැබීය.
දිවයින පුරා බන්ධනාගාර පද්ධතිය තුළ මතුවිය හැකි හදිසි අවස්ථාවලදී කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සඳහා ආරක්ෂක අංශ, සෞඛ්‍ය අංශ මෙන්ම ප්‍රාදේශීය රාජ්‍ය ආයතන එකම වහලක් යටට ගනිමින් මෙම ඒකාබද්ධ වැඩපිළිවෙළ සකස් කර තිබේ. මෙම නිරීක්ෂණ චාරිකාව අතරතුර බන්ධනාගාරගත රැඳවියන්ගේ සහ රිමාන්ඩ් සැකකරුවන්ගේ දෛනික තත්ත්වයන් සහ ඔවුන් මුහුණපාන ගැටළු පිළිබඳව අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමුවිය.
විශේෂයෙන්ම දීර්ඝ කාලයක සිට පවතින රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම හේතුවෙන් සිරගතව සිටින සැකකරුවන්ට අත්වන අසාධාරණයට පිළියමක් ලෙස, ඉදිරි මාස තුනක් ඇතුළත එම ගැටළුවට ස්ථිර විසඳුම් ලබා දෙන බවට අමාත්‍යවරයා මෙහිදී සහතික විය. වව්නියාව දිස්ත්‍රික් ලේකම්වරයා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු ත්‍රිවිධ හමුදා සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් දියත් වූ මෙම වැඩපිළිවෙළ ඉදිරියේදී ජාතික මට්ටමින් බන්ධනාගාර පද්ධතියේ ප්‍රතිසංස්කරණ සඳහා ප්‍රබල පදනමක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














