ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින් ඉන්දීය ආරක්ෂක ඇමැති රාජ්නාත් සිං මහතා ලබන මස (සැප්තැම්බර්) 09 සහ 10 යන දිනවල මෙරට නිල සංචාරයක නිරත වීමට නියමිතය.
මෙම සංචාරයේදී ඉන්දියන් සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරෙන අතර, ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා යන මහත්ම මහත්මීන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. එහිදී 2025 අප්‍රේල් මස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ කොළඹ සංචාරයේදී අත්සන් කරන ලද “ඉන්දු – ශ්‍රී ලංකා ආරක්ෂක සහයෝගීතා අවබෝධතා ගිවිසුමේ” (MoU) ප්‍රගතිය සමාලෝචනය කෙරෙන අතර, ඒකාබද්ධ හමුදා අභ්‍යාස, ධාරිතා වර්ධනය සහ ආපදා සහන සහයෝගීතාව ඇතුළු ක්ෂේත්‍ර රැසක් කෙරෙහි අවධානය යොමු කරනු ඇත.














