ඌව පරණගම ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව විධිමත්ව සපුරාලීමේ අරමුණින් රුපියල් මිලියන 160ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ඉදිකිරීමට නියමිත මැදවෙල ජල පවිත්රාගාර ව්‍යාපෘතියට මුල්ගල තැබීම 2026 අගෝස්තු 26 වන දින සිදු විය.
ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ පූර්ණ ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මගින් දිනකට ජලය ඝන මීටර 2,000ක ධාරිතාවකින් යුත් පූර්ණ ජල පිරිපහදු පද්ධතියක් ස්ථාපනය කෙරේ. මෙම ව්‍යාපෘතිය යටතේ මැදවෙල, දවුල්දෙන, කරගහ උල්පත සහ කැටගොඩ යන ප්‍රදේශ ආවරණය වන අතර, ඒ හරහා ප්‍රදේශයේ පාරිභෝගිකයින් 5,292කට ආසන්න සංඛ්‍යාවකට සෘජු ප්රතිලාභ හිමිවීමට නියමිතය. මෙම පූර්ණ පිරිපහදු පද්ධතිය සඳහා වායුකරණ ඒකකය, කැටිතිකරණ ටැංකිය, අවසාදිත ටැංකිය, වේගවත් වැලි පෙරහන, කාර්යාල හා රසායනික ගොඩනැගිල්ල මෙන්ම පසු සේදීම් සහ ජල පොම්පාගාරය ඇතුළු සියලුම ප්‍රධාන ඒකකයන් ඇතුළත් කර ඇත.
මෙම ජල සම්පාදන හා ජල පිරිපහදු ව්‍යාපෘතිය සාර්ථකව නිමකිරීම මගින් ඌව පරණගම ප්‍රදේශයේ ජනතාවට දීර්ඝ කාලයක සිට පැවති පානීය ජල ගැටලුවලට ස්ථිර විසඳුම් ලැබෙන අතර, ඔවුන්ට ගුණාත්මක, සුරක්ෂිත හා විශ්වාසදායක පානීය ජල සැපයුමක් තහවුරු වනු ඇත. මෙම මුල්ගල තැබීමේ අවස්ථාව සඳහා මහා සංඝරත්නය පෙරටු කරගනිමින් ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර, ඌවපරණගම ප්‍රාදේශීය සභා සභාපති දිනදාස රත්නායක යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින්, ඌවපරණගම ප්‍රාදේශීය ලේකම්තුමා, ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියහ.














