ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සෙබළුන් සහ ඉන්දියානු හමුදා ඉංජිනේරු කාර්ය සාධක බලකාය (ETF) ඒකාබද්ධව කුරුණෑගල, කබල්ලෑව පාලම ආසන්නයේ අඩි 100ක දිගැති නව බෙයිලි පාලමක් (Bailey Bridge) ඉදිකිරීමේ කටයුතු සාර්ථකව අවසන් කර තිබේ.
අගෝස්තු 22 වන දින ආරම්භ කරන ලද මෙම ඉදිකිරීම් කටයුතු දින තුනක් තුළ, එනම් අගෝස්තු 24 වන දින වන විට සම්පූර්ණයෙන්ම නිම කිරීමට සමත්ව ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා 1 වන ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ (1 SLE) කණ්ඩායමක් ඉන්දියානු හමුදා ඉංජිනේරු කාර්ය සාධක බලකාය සමඟ අත්වැල් බැඳගනිමින් කටයුතු කළහ.
දළ වශයෙන් අඩි 100ක දිගකින් සහ අඩි 17ක පමණ පළලකින් යුත් මෙම නව බෙයිලි පාලම ඉදිකිරීම හරහා ප්‍රදේශයේ ජනතාවගේ දෛනික ගමනාගමන කටයුතු වඩාත් පහසු කරලීමටත්, ප්‍රදේශයේ ප්‍රවාහන සම්බන්ධතාවයන් සැලකිය යුතු ලෙස වර්ධනය කර ගැනීමටත් හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීම මගින් දෙරටේ හමුදා ඉංජිනේරු සෙබළුන්ගේ වෘත්තීයමයභාවය, උසස් තාක්ෂණික කුසලතාව සහ ප්‍රබල කණ්ඩායම් හැඟීම මනාව විදහා දැක්වෙයි.














