එක්සත් ආරාබි එමීර් රාජ්‍යය සහ ඉන්දියාව අතර ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, 2025 වසරේදී ඩුබායි සහ ඉන්දියාව අතර සිදු වූ තෙල් නොවන සමස්ත වෙළෙඳාම එක්සත් ආරාබි එමීර් රාජ්‍ය ඩිරාම් බිලියන 222.5ක (අමෙරිකානු ඩොලර් බිලියන 60.6) වාර්තාගත අගයක් සනිටුහන් කර තිබේ.
මෙය පෙර වසරට වඩා 15%ක දැවැන්ත වාර්ෂික වර්ධනයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නවදිල්ලි නුවරදී පැවැත්වුණු ‘Economic Times World Leaders Forum 2026’ සමුළුවේදී ඩුබායි වාණිජ මණ්ඩලයේ සභාපති මොහොමඩ් අලි රාෂිඩ් ලූටා විසින් මෙම තොරතුරු තහවුරු කරන ලදී. 2026 ජූනි මස අග වන විට ඩුබායි වාණිජ මණ්ඩලයේ ලියාපදිංචි ඉන්දියානු සමාගම් ගණන 85,841 දක්වා ඉහළ ගොස් ඇති අතර, 2016-2025 කාලය තුළ පමණක් ඩුබායි වෙත ඩොලර් බිලියන 8.8ක ඉන්දියානු ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සමත්ව ඇත.













