සියලුම කාබනික හා ජෛව පොහොර ප්‍රවර්ධන කටයුතු තහවුරු කළ විද්‍යාත්මක සාක්ෂි, විධිමත් පර්යේෂණ දත්ත සහ දීර්ඝකාලීන ක්ෂේත්‍ර අත්හදා බැලීම් මත පමණක් පදනම්ව සිදු කිරීමට වත්මන් රජය සම්පූර්ණයෙන්ම කැපවී සිටින බව විද්‍යා හා කර්මාන්ත තාක්ෂණ අමාත්‍ය, මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පැවසීය.
පරිසර හිතකාමී ජෛව පටල සහ ජෛව පොහොර ව්‍යාප්ත කිරීමේ ජාතික ව්‍යාපෘතිය යටතේ මීරිගම, විල්වත්ත ප්‍රදේශයේ කුඹුරු ආශ්‍රිතව පැවැත්වුණු විශේෂ ක්ෂේත්‍ර පරීක්ෂණ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
පූර්ව පර්යේෂණ සහ සූදානමකින් තොරව හදිසියේ ගත් තීරණ නිසා මීට පෙර කෘෂිකාර්මික ක්ෂේත්රය මුහුණ දුන් අසාර්ථකත්වයන් යළි සිදු වීමට වත්මන් රජය ඉඩ නොදෙන බව අවධාරණය කළ ඒ මහතා, ඉදිරියේදී ගනු ලබන සෑම තීරණයක්ම විද්‍යාත්මක හා ප්‍රායෝගික පදනම මත පමණක් ක්‍රියාත්මක කරන බවද කියා සිටියේය.
රාජ්‍ය හා පෞද්ගලික අංශ නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන්, කෘෂිකාර්මික විශේෂඥයින්, ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයන් සහ ප්‍රදේශයේ ගොවි නියෝජිතයන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
















