22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ පද්ධති (සංශෝධන) පනත් කෙටුම්පත මගින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සහ විනිසුරු සංඛ්‍යාව වැඩි කිරීම හේතුවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට කිසිදු බලපෑමක් එල්ල නොවන බව ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ.
විනිසුරුවරුන්ගේ සහ නීතිඥවරුන්ගේ ස්වාධීනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මාර්ගට් සැටර්ත්වේට් (Margaret Satterthwaite) මහත්මිය විසින් යොමු කරන ලද විමසීමට පිළිතුරු දෙමින් ජිනීවා නුවර පිහිටි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය අගෝස්තු 21 වැනිදා අදාළ නිල පිළිතුරු ලිපිය භාර දී ඇත.
මෙම සංශෝධනවල ප්‍රධාන අරමුණ වනුයේ අධිකරණවල පවතින අධික නඩු ගොඩගැසීම සහ ප්‍රමාදයන් අවම කරමින් ජනතාවට ඵලදායී ලෙස සාධාරණය ඉටු කිරීම බව ශ්‍රී ලංකා රජය පෙන්වා දෙයි. විශ්‍රාම වයස් සීමාවන් ඉහළ නැංවීම දැනට සේවයේ නියුතු විනිසුරුවරුන්ට ද අදාළ වන්නේ තනි තනි විනිසුරුවරුන් රැඳවා තබාගැනීමේ විධායකයේ අභිමතයක් ලෙස නොව, සමස්ත පද්ධතියේ ගුණාත්මකභාවය සහ අත්දැකීම් බහුල විනිසුරුවරුන්ගේ සේවය පවත්වාගෙන යාමේ පොදු ප්‍රතිපත්තියක් ලෙස බව රජය වැඩිදුරටත් සනාථ කරයි.
එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වගන්තිය ප්‍රකාරව මෙම පනත් කෙටුම්පත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට ඕනෑම පුරවැසියෙකුට අවස්ථාව ඇති අතර, ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන තීන්දුවට රජය පූර්ණ වශයෙන් ගරු කරන බවද එම නිල පිළිතුරෙහි සඳහන් වේ.














