ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් ඉසෙබෙලා මාර්ටින් (Isabelle Martin) මහත්මිය සහ වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වුණි.
එහිදී දෙරට අතර වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති ක්ෂේත්රවල සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම මෙන්ම වරාය ක්ෂේත්රයේ පවතින ආයෝජන අවස්ථා පිළිබඳව දැඩි අවධානය යොමු විය. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 61න් 24ක් නැවත භාවිතයට ගනිමින් ඉන්ධන ගබඩා කිරීම සහ නාවික ඉන්ධන සැපයීමේ පහසුකම් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ඊට අමතරව, මෙරට වරාය සහ ගුවන්සේවා ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය තාක්ෂණික විශේෂඥ දැනුම, පුහුණුව සහ නවීන උපකරණ ලබාදීමට මෙන්ම වෙළඳ සබඳතා තවදුරටත් පුළුල් කිරීමට කැනඩාව සූදානම් බව මහකොමසාරිස්වරිය එහිදී එකඟතාව පළ කළාය.














