ඉරානය ආර්ථික වශයෙන් තනි කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය ගෙන යන වැඩපිළිවෙල තවදුරටත් දැඩි කරමින්, ඉරානය සමග මූල්‍ය ගනුදෙනු පවත්වාගෙන යනු ලබන චීන බැංකු ඉලක්ක කරගනිමින් සම්බාධක පැනවීම පිළිබඳව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉඟි කර ඇත. ඕවල් කාර්යාලයේ පැවැති වැඩසටහනකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කර ඇත්තේ තමා ගන්නා සෑම තීරණයක්ම කලින් ප්‍රකාශ කිරීමට අවශ්‍යතාවයක් නැති බවයි.
ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් ප්‍රකාශ කර ඇත්තේ දැඩි ආර්ථික සම්බාධක මගින් ඉරාන රජය මූල්‍යමය වශයෙන් අඩපණ කිරීමට පියවර ගන්නා බවයි. එහි එක් පියවරක් ලෙස ඉරානය සමග වෙළඳ සබඳතා පවත්වන අනෙකුත් රටවලට ද්විතීයික සම්බාධක පැනවීමේ අවදානම ඉහළ නංවා තිබේ. ඉරාන තෙල් සඳහා ප්‍රධානතම වෙළඳපොළක් වන චීනය, එරට විශාලතම වෙළඳ සහකරුවා වන අතර, චීන බැංකු විසින් මෙම තෙල් ගනුදෙනු සහ අනෙකුත් වෙළඳ ගෙවීම් අඛණ්ඩව කළමනාකරණය කරනු ලබයි. මීට පෙර ඉරාන හමුදාවට සහ රජයට සහාය දැක්වූයේ යැයි චෝදනා කරමින් චීනයේ සහ හොංකොංහි සමාගම් කිහිපයකට සම්බාධක පනවා තිබුණද, චීනයේ ප්‍රධාන පෙළේ බැංකුවලට එරෙහිව මෙතෙක් එවැනි පියවරක් ගෙන නොමැත.














