නේපාලයට බලපෑ විනාශකාරී ජලගැලීමෙන් මියගිය බවට සැක කෙරෙන පුද්ගලයින් 7 දෙනෙකුගේ මළ සිරුරු ඉන්දියාවේ ගංගාවල පාවෙමින් තිබියදී සොයාගෙන ඇති බව නිලධාරීන් තහවුරු කර තිබේ.
නේපාලයේ දකුණුදිග චිට්වාන් කලාපයට මායිම්ව පිහිටි ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ මහාරාජ්ගන්ජ් සහ කුෂිනගර් යන දිස්ත්‍රික්ක හරහා ගලාබසින ගංගාවලින් මෙම සිරුරු හමුවී ඇත. නේපාලයේ ඇති වූ දැඩි ගංවතුර තත්ත්වය හේතුවෙන් මෙම සිරුරු ඉන්දියාව දෙසට ගසාගෙන එන්නට ඇති බව මහාරාජ්ගන්ජ් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් ගෞරව් සිං සොගර්වාල් සඳහන් කර තිබේ.
බ්‍රහස්පතින්දා දිනයේදී මහාරාජ්ගන්ජ් දිස්ත්‍රික්කයෙන් හඳුනානොගත් සිරුරු 4ක් හමුවී ඇති අතර, ඊට කිලෝමීටර 70 ක පමණ පහළින් පිහිටි කුෂිනගර් දිස්ත්‍රික්කයෙන් තවත් සිරුරු 3ක් සොයාගත් බව පොලිසිය පවසයි. මෙම සිරුරු කාගේදැයි හඳුනාගැනීම සඳහා බලධාරීන් මේ වන විට පරීක්ෂණ පවත්වමින් සිටියි.
මෙම ව්‍යසනයෙන් මේ වන විට පුද්ගලයින් 584 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, නේපාලය සහ චීනයේ ටිබෙටය පුරා පුද්ගලයින් 2,400 කට වැඩි පිරිසක් තවමත් අතුරුදහන්ව සිටිති.














