තාරුණ්‍යයේ සැඟවුණු කලා කුසලතා ජාතික තලයට ගෙන එමින් ජාතික යොවුන් සේනාංකය විසින් සංවිධානය කරන ලද **“Youth Arts Festival 2026”** කලා උළෙල අතිඋත්කර්ෂවත් අයුරින් නිමාවට පත්ව ඇත. තරුණ පරපුරේ විනය, නායකත්වය සහ පෞරුෂත්වය වර්ධනය කරමින් ඔවුන්ගේ කලා කුසලතා ජාතික මට්ටමින් ඔප් නැංවීම මෙම උළෙලේ ප්‍රධාන අරමුණයි.
වර්තමාන සමාජයට අවශ්‍ය ශක්ති සම්පන්න මෙන්ම අන් අය කෙරෙහි සහකම්පනයෙන් යුත් පරිපූර්ණ දරුවෙකු බිහි කිරීම ජාතික යොවුන් සේනාංකයේ ප්‍රමුඛතම අපේක්ෂාව වන අතර, යොවුන් කැඩෙට්වරුන්ගේ කලා හැකියාවන් වර්ධනය කරගැනීමට පුළුල් වේදිකාවක් සකසා දීමත්, කලාව තුළින් ජාතික එකමුතුව සහ කණ්ඩායම් හැඟීම වර්ධනය කිරීමත් මෙහි අරමුණු අතර වේ.
ජාතික යොවුන් සේනාංකයේ 2026 පළමු සහ දෙවන කණ්ඩායම් නියෝජනය කරමින් පුහුණුව ලබන යොවුන් කැඩෙට්වරුන් වෙනුවෙන් පමණක් වෙන් වූ මෙම කලා වේදිකාව සඳහා, මධ්‍යස්ථාන මට්ටමින් කුසලතා ඇගයීමට ලක්වී පළාත් මට්ටම ජයගත් දක්ෂතම තරඟකරුවන් දිවයිනේ සිව්දිගින්ම ජාතික තලයට ගෙන ඒමට කටයුතු කර තිබුණි. ඒ අනුව, කලා උළෙලේ ජාතික මට්ටමේ තරඟ පසුගිය අගෝස්තු 18 වන දින යක්කල පුහුණු මධ්‍යස්ථානයේදී පවත්වන ලද අතර, එහි සමාප්ති උත්සවය අගෝස්තු 19 වන දින ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ‘ආග්‍රා’ නව ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.














