ඉක්වදෝරයේ හිටපු ජනාධිපති ලෙනින් මොරෙනෝ (Lenín Moreno) එරට විශාලතම ජල විදුලි බලාගාර ව්‍යාපෘතියකට සම්බන්ධ අල්ලස් නඩුවකදී වරදකරු බවට තීරණය කරමින් ඔහුට වසර පහක සිරදඬුවමක් නියම කර තිබේ. චීන රාජ්‍ය සමාගමක් වන Sinohydro ආයතනය විසින් ඉදිකරන ලද ‘කොකා කොඩෝ සින්ක්ලෙයාර්’ (Coca Codo Sinclair) ජල විදුලි බලාගාර ව්‍යාපෘතියට අදාළව අල්ලස් ලබාගත් බවට 73 හැවිරිදි හිටපු ජනාධිපතිවරයාට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි.
ශාරීරික අපහසුතා හේතුවෙන් ඔහුට ඇවිදීමට නොහැකි වීම නිසා මෙම සිරදඬුවම නිවාස අඩස්සියේ සිට ගෙවීමට අධිකරණය නියෝග කර ඇති අතර, ඔහුට ජීවිත කාලය පුරාම රජයේ තනතුරු දැරීමද තහනම් කර ඇත. මීට අමතරව, මොරෙනෝගේ භාර්යාව, දියණිය සහ තවත්ඥාතීන් කිහිප දෙනෙකුද මෙම නඩුවෙන් වරදකරුවන් වී ඇති අතර, ඔවුන්ට මාස 30 බැගින් සිරදඬුවම් නියම කර තිබේ.
රෆායෙල් කොරියා සහ ජමිල් මහුවාඩ් යන හිටපු නායකයින්ට පසුව දූෂණ චෝදනා මත සිරදඬුවම් ලැබූ තෙවැනි ඉක්වදෝරියානු ජනාධිපතිවරයා ලෙස මොරෙනෝ මෙලෙස ඉතිහාසයට එක්වෙයි.
















