සෙවනගල සීනි කර්මාන්තශාලාවේ පවතින සේවක නොසන්සුන්තාව සහ වෘත්තීය ක්‍රියාමාර්ග හමුවේ කර්මාන්තශාලාවේ මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එහි සභාපතිවරයා විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.
පසුගිය කාලය පුරා පැවති සේවක නොසන්සුන්තාව හේතුවෙන් අවස්ථා කිහිපයකදීම නිෂ්පාදන කටයුතුවලට බාධා එල්ල වූ බව සභාපතිවරයා පෙන්වා දෙයි. අගෝස්තු 25 වැනිදා සිට සේවකයින් සේවයට වාර්තා කළද නිෂ්පාදන කටයුතු නිසි පරිදි සිදු නොවීම නිසා මෙහෙයුම් අඩාල වී ඇති අතර, අගෝස්තු 26 සහ 27 නිවාඩු දිනවලින් පසුව අගෝස්තු 28 වැනිදා උදෑසන 10.00 වන තෙක්ම නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට නොහැකි වී ඇත.
නිෂ්පාදනයක් සිදු නොවන පසුබිමක වැටුප් සහ අතිකාල දීමනා ගෙවීමෙන් සිදුවන ආයතනික පාඩුව වැළැක්වීම සඳහා නැවත දැනුම් දෙනතුරු කර්මාන්තශාලාව වසා තැබීමට පාලනාධිකාරිය තීරණය කර තිබේ. ඊට අමතරව, කර්මාන්තශාලාව වසා තිබියදීත් අත්‍යවශ්‍ය කටයුතුවලට මෙන්ම සීනි අලෙවිය සඳහා පැමිණි ලොරි රථවලට බාධා කිරීම හේතුවෙන් ආයතනයේ ආදායම් මාර්ගවලටද බලපෑම් එල්ල වී ඇත.
ආයතනයේ පිරිස් බලය සහ වැටුප් ව්‍යුහය සම්බන්ධ ගැටලු විසඳීම සඳහා නව වැටුප් ක්‍රමවේදයක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින අතර, කිසිදු සේවකයෙකුගේ වැටුප අඩු නොකර මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට වැටුප් කොමිෂන් සභාව සමඟ සාකච්ඡා පවත්වන බව සභාපතිවරයා සඳහන් කරයි. පවතින වෘත්තීය ක්‍රියාමාර්ගයේ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුවද අදාළ පාර්ශ්ව දැනුවත් කර ඇති බව එම නිවේදනය මගින් අවධාරණය කර ඇත.
සෙවනගල කර්මාන්තශාලාව මොනරාගල දිස්ත්‍රික්කයේ උක් ගොවීන්ගේ ජීවනෝපාය සහ සේවකයින්ගේ රැකියා සමඟ සෘජුව බැඳී පවතින බැවින්, කඩාකප්පල්කාරී ක්‍රියාමාර්ගවලින් මිදී වහාම සේවයට වාර්තා කරන ලෙසත්, පවතින ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට එක්වන ලෙසත් සභාපතිවරයා සියලු සේවකයින්ගෙන් ඉල්ලා සිටී.














