වෛද්‍ය කාණ්ඩ අතර ගැටුම් ඇති කරමින් වෛද්‍ය සේවාව හා නිදහස් සෞඛ්‍ය පද්ධතිය අර්බුදයකට රැගෙන යාමේ උත්සාහයක් සම්බන්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) දැඩි චෝදනා කර තිබේ. විශේෂඥ වෛද්‍යවරුන් සහ අනෙකුත් වෛද්‍ය කාණ්ඩ අතර බෙදීමක් ඇති කිරීමේ දේශපාලන ක්‍රියාකාරකමක් මේ වන විට නිර්මාණය වී ඇති බව එම සංගමය සඳහන් කරයි.
රටේ පැවැති ආර්ථික, සමාජ හා දේශපාලනික අස්ථාවරත්වය හමුවේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීම ගැටලුවක් වූ බව පෙන්වා දෙන එම සංගමය, එම ගැටලුවට විසඳුම් සෙවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ වෛද්‍ය වෘත්තීය සංගම් ඇතුළු පාර්ශ්වකරුවන්ගෙන් සමන්විත කමිටුවක් පත් කළ බවත්, එහිදී සියලුම කාණ්ඩ රට තුළ රඳවා ගැනීම සඳහා “ශ්‍රී ලංකා වෛද්‍ය සේවය” නමින් නව සේවා කාණ්ඩයක් සහ වැටුප් ව්‍යුහයක් ස්ථාපිත කිරීමට එකඟ වූ බවත් සඳහන් කර ඇත. 2026 අයවැය තෙවනවර කියවීමේදීද විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සියලුම වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීම සඳහා වෙනම සේවා කාණ්ඩයක් ස්ථාපිත කරන බවට සහතික වී තිබේ.
කෙසේ වෙතත්, විශේෂඥ වෛද්‍යවරුන් සඳහා පමණක් වෙනම සේවා කාණ්ඩයක් ස්ථාපිත කිරීමේ යෝජනාවක් ඉදිරිපත්ව ඇති බවත්, එමඟින් වෛද්‍ය කාණ්ඩ අතර බෙදීමක් ඇතිවීමේ අවදානමක් පවතින බවත් GMOA පෙන්වා දෙයි. එක් කාණ්ඩයක් සඳහා පමණක් වෙනම සේවා ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීමෙන් නිදහස් සෞඛ්‍ය සේවාවට සහ රෝගී සත්කාර සේවාට සිදුවිය හැකි බලපෑම සලකා එම යෝජනාවට තම සංගමය එකඟ නොවන බව ඔවුන් සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් තම වාචික හා ලිඛිත අදහස් අදාළ කමිටුව වෙත ඉදිරිපත් කර ඇති බවත්, කමිටු වාර්තාවේ පිටපතක් ලබා දෙන ලෙස අවස්ථා කිහිපයකදී ඉල්ලා සිටියද මෙතෙක් එය ලබා දී නොමැති බවත් සංගමය පවසයි. මේ හේතුවෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා සංගමයේ පළාත් සහ දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරුන්ගේ හදිසි රැස්වීමක් පසුගිය 28 වැනිදා පැවැත්වුණු අතර, විශේෂඥ වෛද්‍යවරුන්ගේ අනුකමිටු හදිසි රැස්වීමක් හෙට (31) පැවැත්වීමට නියමිතය. වෛද්‍යවරුන්ගේ අයිතිවාසිකම් හා වරප්‍රසාද ආරක්ෂා කර ගනිමින් එකමුතුව කටයුතු කළ හැකි ශ්‍රී ලංකා වෛද්‍ය සේවය බිහි කිරීම සඳහා ගත යුතු තීරණාත්මක පියවර මෙම සාකච්ඡාවේදී ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.
















