ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම අධිචෝදනා සංඛ්‍යාවකින් යුත් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ නඩු විභාගය වසර දෙකහමාරකට අධික කාලයකට පසු අගෝස්තු 24 දින නිමාවට පත්විය. චූදිතයන් 25 දෙනකුට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වූ මෙම නඩුවේ තීන්දුව 2026 සැප්තැම්බර් 22 වැනි දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මෙම නඩුවේදී චූදිතයන්ට එරෙහි අධිචෝදනා සංඛ්‍යාව 23,000කට අධික වූ අතර, පැමිණිල්ල වෙනුවෙන් නම් කරන ලද සාක්ෂිකරුවන් 2,309 දෙනා අතරින් සාක්ෂිකරුවන් 547 දෙනකු අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුනි. මීට අමතරව ලේඛන සහ නඩු භාණ්ඩ 2,076ක් ද සලකුණු කෙරිණි. පැමිණිල්ලේ කටයුතු අගෝස්තු 13 දින අවසන් වීමෙන් පසු ඇරඹි විත්ති වාචක විමසීමේදී, පළමු විත්තිකරු වන නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවෝ තමන් නිර්දෝෂී බව පවසමින් විත්තිකූඩුවේ සිට ප්‍රකාශ සිදු කළහ. සමහර විත්තිකරුවන් තමන්ට එල්ල වූ චෝදනා සහ පාපොච්චාරණ විවිධ බලපෑම් මත ලබාගත් බවට ද අධිකරණය හමුවේ කරුණු දැක්වූ අතර, ජැමෙයිකාවේ සිට සූම් තාක්ෂණය ඔස්සේ වෛද්‍ය එස්. ඩී. චන්න පෙරේරා මහතා සාක්ෂි ලබා දීම සහ විමර්ශන නිලධාරීන් විසින් ඩිජිටල් හා දුරකථන දත්ත විශ්ලේෂණ ඉදිරිපත් කිරීම මෙම නඩු විභාගයේදී විශේෂයෙන් කැපී පෙනුණි.















