ශ්‍රී ලංකාව සහ කුවේට් රාජ්‍යය අතර ද්විපාර්ශ්වික රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර පනස්පහක් ඉක්මවා යන පසුබිමක, දෙරට අතර දේශපාලනික හා ආර්ථික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය මෙන්ම පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ කුවේට් තානාපති සලේ මුබාරක් අල්-සරාවි මහතා අතර විශේෂ නිල හමුවක් පවත්වා තිබේ. 2026 අප්‍රේල් මාසයේදී මෙරට කුවේට් තානාපතිවරයා ලෙස වැඩ භාරගත් අල්-සරාවි මහතා සහ අමාත්‍යවරයා අතර සිදු වූ මෙම ප්‍රථම නිල හමුව හරහා, වර්තමාන ගෝලීය අභියෝග මැද දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අලුත් මාවතකට යොමු කිරීමේ උත්සාහය පැහැදිලිව පෙන්නුම් කරයි. මැදපෙරදිග කලාපය දැඩි යුධමය උණුසුම්කාරී තත්ත්වයන්ට මුහුණ දී සිටින වකවානුවක, ජාත්‍යන්තර අර්බුද සාර්ථකව කළමනාකරණය කරමින් ශ්‍රී ලංකාව පවත්වාගෙන යන ස්ථාවරත්වය සහ ආර්ථික ක්‍රියාමාර්ග කුවේට් රජයේ ඉහළ ඇගයීමට ලක්වීම ජාත්‍යන්තර ක්ෂේත්‍රය තුළ රටේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට රුකුලක් වී තිබේ.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාව මුහුණ දුන් ‘දිට්වා’ ව්‍යසනයේ අභියෝග ජය ගනිමින් ජනජීවිතය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට රජය ගත් ක්‍රියාමාර්ග මෙන්ම, වංචාව සහ දූෂණය මැඩපැවැත්වීම වෙනුවෙන් වත්මන් පරිපාලනය ගෙනයන විනිවිදභාවයෙන් යුත් වැඩපිළිවෙළ කුවේට් තානාපතිවරයාගේ විශේෂ ප්‍රසාදයට ලක්ව ඇත. ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක වන වැඩසටහන් මෙන්ම ඉදිරි ප්‍රවාහන ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් දෙරට අතර නව සහයෝගිතා ඇති කර ගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කර තිබේ. දේශපාලනික හා ආර්ථික හවුල්කාරීත්වය පුළුල් කිරීමේ අරමුණින් කුවේට් – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය යළි පිහිටුවීමට ගෙන ඇති පියවර හරහා, දෙරටේ ව්‍යවස්ථාදායක මට්ටමේ සබඳතා වඩාත් ක්‍රියාකාරී මට්ටමකට පැමිණෙනු ඇති බවට අපේක්ෂා කෙරේ.
















