ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික මිත්‍රත්වය සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙරට විශ්‍රාමික හමුදා නිලධාරීන් තිදෙනෙකු විසින් සංවිධානය කරන ලද කිලෝමීටර් 1,400ක කොළඹ – චෙන්නායි – කොළඹ පාපැදි සවාරිය සාර්ථකව නිමකර තිබේ.
මේ සඳහා විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමිත් බාලසූරිය, මේජර් ජෙනරාල් සුමිත් ප්‍රේමලාල් සහ කර්නල් ප්‍රදීප් පෙරේරා යන මහත්වරුන් එක්වූහ. චෙන්නායි හි පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස්වරයාගේ සංකල්පයකට අනුව “Team Bison” ආයතනය විසින් සංවිධානය කරන ලද මෙම පාපැදි සවාරියට සමගාමීව, ඉන්දීය පාපැදිකරුවන් 30 දෙනෙකු සමඟින් කිලෝමීටර් 20ක විශේෂ සංකේතාත්මක පාපැදි සවාරියක් ද චෙන්නායි හිදී පැවැත්විණි. ශ්‍රී ලංකා සහ ඉන්දීය ජාතික කොඩි ප්‍රදර්ශනය කරමින් පැවැති මෙම වැඩසටහන මගින් “සෞඛ්‍යය සඳහා පාපැදි පදිමු” සහ “මතට තිත තබමු” යන සමාජීය පණිවිඩ ද ප්‍රජාව වෙත සමීප කිරීමට පියවර ගෙන තිබිණි.














