ඉරානයට එරෙහිව ක්‍රියාත්මක ආර්ථික පීඩනය තවදුරටත් දැඩි කරමින්, මේ සතිය ඇතුළත ඉරාන බැංකුවක් ඉලක්ක කරගනිමින් නව සම්බාධක පැනවීමට කටයුතු කරන බව ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් (Scott Bessent) ප්‍රකාශ කරයි.
ඇමෙරිකාවේ උතුරු කැරොලිනා හි පැවැත්වෙන G20 මුදල් අමාත්‍යවරුන්ගේ සමුළුවට සමගාමීව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම සඳහන් කළේ, බැංකුවලට අමතරව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) සමඟ ගනුදෙනු කරන ගුවන්යානා බදුදෙන සමාගම් (Airline leasing companies) ඇතුළු අනෙකුත් ආයතනයන් ද ඉලක්ක කරගනිමින් සෑම සතියකම අලුත් සම්බාධක පනවන බවයි. ඉරාන පාලනය ආර්ථික වශයෙන් මුළුමනින්ම අඩපණ කිරීම (Economically asphyxiate) සිය අරමුණ බවත්, IRGC බලකාය බ්‍රිතාන්‍ය වර්ජින් දූපත්වල පවත්වාගෙන යන ගිණුම් සහ ලොව පුරා ඇති ඩොලර් මිලියන සිය ගණනක් වටිනා දේපළ පිළිබඳ තොරතුරු ඇමෙරිකාව සතුව ඇති බැවින් ඒවා තහනම් කිරීමට පියවර ගන්නා බවත් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.
















