වෙඩි තබා අපරාධයක් කිරීමට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයෙකු බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (01) දහවල් ගංගොඩවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති මෙම සැකකරු 42 හැවිරිදි ගංගොඩවිල, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පසුගිය අගෝස්තු 17 වනදා අතුරුගිරිය පොලිස් වසමේ මලවියාකන්ද පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට මොහු ආධාර අනුබල ලබාදී ඇති බව පොලිසිය සඳහන් කරයි.
සැකකරුගෙන් අනාවරණය වූ තොරතුරු මත, අපරාධය සඳහා සැකකරුවන් පැමිණි බවට සැක කෙරෙන ව්‍යාජ අංක තහඩු සවිකර තිබූ යතුරුපැදියක් ඔහුගේ නිවසේ තිබී සොයාගෙන ඇති අතර, විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් මෙම අපරාධය මෙහෙයවා ඇති බවද විමර්ශනවලදී හෙළි වී තිබේ. එපමණක් නොව, එම යතුරුපැදියේ සවිකර තිබූ ව්‍යාජ අංක තහඩු, පසුගිය ජූලි 19 වනදා දෙහිවලදී මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ සිද්ධියකට සහ ජූලි 21 වනදා ගල්කිස්සේදී නිවසකට පැමිණ බිය ගැන්වීමේ සිද්ධියකට යොදාගත් යතුරුපැදිවල තිබූ ඒවා බවටද තොරතුරු අනාවරණය වී ඇති අතර, බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.














